නිවන් දකින්න සිවුරු හැරිය හාමුදුරුවන්ගේ බාර් බණ(කෙටි කතාව)

පහුගිය දවසක පබ් එකට ඇතුලුවෙනකොටම දැකලා පුරුදු කෙනෙක් පබ් එකට ගොඩවුනා. තට්ටය වැසෙන්න තොප්පියකුත් සමග ඔහු ඇඳන් හිටියෙ කොට කලිසමක් සහ ටී-ෂර්ට් එකක්. ‘මහත්තයට මාව අඳුරන්න බැරිද ?’ උඩු රැවුලෙන් යුතු ඒ තැනැත්තා ඉතාම ප්‍රසන්න සිනහවකින් මුව සරසගෙන විමසා සිටියා.

‘හද්දෙයියනේ, මේ අපේ හාමුදුරුවො නේද ?’

‘ඔව් මම සාමින්ද හාමුදුරුවෝ. ඉස්සර මගේ නම පාතේගම සාමින්ද . දැන් මම සාමින්ද පාතේගම.’

‘දැන් මම මොකක් කියලද ඔබවහන්සේට කතා කරන්න ඕන ?’

‘මට සාමින්ද කියන්න. ඇත්තටම මම සිවුරු ඇරියේ නිවන් අවබෝධ කරගැනීමට තියන තදබල අවශ්‍යතාවය නිසා. සිවුරෙ ඉඳලා කවදාකවත් ඒක කරන්න බෑ. නිවන් දකින්න නං බුද්ධාගමෙන් එළියට එන්න ඕන. එතකොට තමයි හැබෑවට බුදුන් වදාළ ධර්මය තේරුම් ගන්න හැකියාව ලැබෙන්නෙ.’

ඔය අතරතුරේ තමයි අපේ හිතවත් විමුක්ති අධිකාරි දොස්තර මහත්තයත් එයාගෙ ඩ්‍රින්කිං පාට්නර් කමල් අබේදීර පබ් එකට ආවෙ. දුටුවනම ඒ දෙන්නටම සාමින්ද පාතේගමව අඳුරගන්න හැකිවුනේ නෑ. පස්සෙ බාර් මෑන් මේ අහවලා කියලා අඳුන්වල දෙද්දි දෙන්නගෙම මූණු පුළුටු උනා. මොකද දෙන්නම පාතෙගම සාමින්දගේ පංසල ඇසුරු නිසුරු කල මරාගෙන මැරෙන සිංහල බෞද්ධයෝ. 

‘ඔව්වා වටින වැඩ නෙවෙයි. සිවුර දාගෙන ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා පීආර් එක (Permenant Residency) අරගෙන සිවුරු අරින එක හරියට සිවුර දාගෙන කැම්පස් ඇවිල්ලා බැච් එකේ ගෑණු ළමයෙක් බැඳගෙන ගිහි උපාධිධාරියෙක් වෙන එක වගේ.’

‘මම දන්න හාමුදුරු කෙනෙක් කටුනායකින් ඇමරිකාවට යන්න ගුවන්ගත උනේ පූජ්‍යපාද නමකින්. නමුත් ඇමරිකාවෙ Chicago එයාපෝට් එකෙන් බැස්සෙ යුරෝපීය ඇඳුමින් සැරසිච්ච මහත්තයෙක්. හරියට පාතේගම සාමින්ද, සාමින්ද පාතේගම උනා වගේ’ එහෙම කිව්වෙ කමල් අයියා.

‘ඈ සාමින්ද, දැං ඔහේ කියන්නෙ සිවුරෙ හිටියොත් නිවන් දකින්න බැහැ කියලමද ? එහෙමනං බුදු හාමුදුරුවො චීවරයක් දාගත්තෙ ඇයි ? උන්වහන්සේට තිබ්බ නේ චීවරය දාගන්නැතුව ගිහිගෙයි ඉඳන්ම බුද්ධත්වය ලබන්න’ ජින් ඇන්ඩ් ටොනික් වීදුරුවක් තොලගාන ගමන් දොස්තර විමුක්ති අධිකාර සාමින්ද පාතේගමගෙන් විමසා සිටියා. 

‘දොස්තර මහත්තයෝ, චීවරයෙන් සංකේතවත් වෙන්නෙ බුද්ධාගම. බුද්ධාගමෙන් වෙන්වීම සංකේතවත් වෙන්නෙ සිවුරු ඇරීම. ඒක නිවන් දැකීමට උපකාරයක් මිස බාධාවක් නෙවෙයි. මේ සංඝ සංස්ථාව ඇතුළෙ එහෙම පිටින්ම තියෙන්නෙ ව්‍යාපාරයක්. ලොකු හාමුදුරුවරු පොඩි හාමුදුරුවො සූරං කනවා, අපයෝජනයට ලක්කරනව,  මං හැමදාම කියනවා වගේ ඒක ඇතුළෙ හොඳටම අලෙවි කරන්නෙ නිවන කියන එක. පිං-පවු කියන ඒවා. දාන-සීල-භාවනා කියන ඒවා. මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව, භක්තිය ගසාකෑම තමයි බුද්ධාගමේ මූලික හරය. ඉතිං සිවුරෙන් වෙන් වෙන්නැතුව මේ වැඩේ කරන්න බෑ’

සාමින්ද පාතේගමත් බියර් වීදුරුවක් තොලගාමින් පිළිතුරු දුන්නා.

‘ඒකියන්නෙ බුද්ධාගමේ ඉන්නකං නිවන් දකින්න බැරිද ?’ එහෙම ඇහුවෙ කමල් අයියා.

‘ඇත්තටම බෑ කමල් මහත්තයෝ. බුද්ධාගමෙන් කරන්නෙ මම කියන පුද්ගලයා තර කිරීම, මම කියන පුද්ගලයාට සෙත් පැතීම, මම කියන පුද්ගලයා අනතුරු උවදුරුවලින් ආරක්ෂා කිරීම. පිරිත් නූල් හොන්ඩර ගණං මම කියන පුද්ගලයගෙ අතේ ගැටගහලා,සෙත් පිරිත් සජ්ඣායනා කරලා බුදුන් වදාළ ධර්මය විකෘති කිරීම. බුදු හාමුදුරුවො දේශනා කොට වදාළේ සක්කාය දිට්ඨිය එහෙම නැත්තං මම කියලා කෙනෙක් නෑ කියලා ඔප්පු කිරීම. ඊළඟට සීලබ්බත පරාමාස, ඒ කියන්නෙ මම කියන කෙනා ආරක්ෂා වෙන්න දෙවියන්ට, යක්ෂයන්ට, ගස්-ගල්වලට බාරහාර වීම, වන්දනාමාන කිරීම නැවැත්වීම. ඊළඟට විචිකිච්ඡා, සැකය දුරු කිරීම. ඔය තුන හරියට අවබෝධ කරගත්ත නං ඕන කෙනෙකුට සෝවාන් වෙන්න පුලුවන්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිස්සු කෙලින්න ඕන නෑ. ‘

සාමින්ද පාතේගමගෙ කතාවෙන් දොස්තර විමුක්ති ඉද්ද ගැහුවා වගේ උනා.

‘ඈ… සාමින්ද, දැං ඔහේ කියන්නෙ දාන-සීල-භාවනා කරලා එකතු කර ගන්න පිං කන්දරාව සසරින් එතෙර වෙලා නිවන් දැකීමට හේතුපාදක වෙන්නැහැයි කියලද ? දැං මට අවුරුදු 63 ක්. මං මේ වෙනකොට මගේ පුද්ගලික ධනයෙන් ඩොලර් දාස් ගනනක් ඕස්ට්‍රේලියාව විහාරස්ථාන ලංකාවේ  අනාථ නිවාස දාන-මානවලට වැය කරලා තියනවා. ඉතිං මං කරලා තියන්නෙ ගඟට ඉනි කපනවා වගේ වැඩක් නේ. මේක යකාගෙ කතාවක් නෙ. දැං මේකෙන් ඇතිවන ආනිසංසයක් ඇත්තෙම නැද්ද ?’

‘නෑ… දොස්තර මහත්තයෝ, දුප්පත් මිනිස්සුන්ට, අහිංසකයන්ට, අසරණයන්ට ඔබතුමා දන් දෙන එක කවදාකවත් නවත්තන්න එපා. ඒක ඉතා හොඳ වැඩක්. ඕස්ට්‍රේලියාවේ දොස්තර කෙනෙක් විදියට ඔබතුමා ධාර්මිකව උපයන ආදායමෙන් යම්කිසි කොටසක් තමන් උපන් රටේ ජනතාවගෙ ඕනෑඑපාකම්වලට දෙන එක ඉතා හොඳ දෙයක්. නමුත් පිං බලාපොරොත්තුව ඒක කරන්න එපා, යහපත් ලෝකයක් වෙනුවෙන් ඒ දේ කරන්න.’ සාමින්ද පිළිවදන් දුන්නා.

‘ලෝකෙන් පිං-පව් කියන එක නැති උනොත් අමුම අමු තිරිසන් සමාජයක් නේද බිහිවෙන්නෙ ? පවට තියන බය නිසා නේද මිනිස්සු සංවරව හැසිරෙන්නෙ ? බුදුන්, දෙවියන් නැති උනොත් මුලු ලෝකමෙ එහෙම පිටින්ම අපායක් වෙයි.’ දොස්තර විමුක්ති ප්‍රති තර්කයක් ඉදිරිපත් කළා.

‘මෙහෙම හිතන්නකො දොස්තර මහත්තයෝ, බුදුන් කවදාකවත් කිව්වෙ නෑ මට වැඳපල්ලා කියලා. අපි තමයි හදාගත්තෙ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. බුදුදහම අදේවවාදී දර්ශනයක්. ඒකියන්නෙ දෙවියෙක්, මැවුම්කරුවෙක් ඒකෙ නෑ. බුදුදහමට හින්දු ආගමයි, ජෛන ආගමයි පැටලීම නිසා තමයි මේ පිං-පව් එකතු වෙලා බුද්ධාගම බිහි වුණේ. හින්දු ආගම වගේම බුද්ධාගමෙන් කරන්නෙත් කුසල් සොයා යෑම, ඒකියන්නෙ කිං කුසල ගවේසි. නමුත් බුදුදහමේ කියන්නෙ සත්‍ය සොයා යෑම හෙවත් කිං සච්ච ගවේසි. බුදුදහමේ කර්මඵලවාදයක් ගැන කියවෙන්නෑ. ඒකෙ කියවෙන්නෙ හේතුඵලවාදයක් ගැන විතරයි. මමත් අවුරුදු 20 ක් විතර සිවුරක් දාගෙන කරේ ගිරවෙක් වගේ පුරාණ අටුවාචාරීන්ගේ බොරු දායක-දායිකාවන්ට කියලා දුන්න එක. දැං මිනිස්සු අපිට ඉස්සරහින් ඉන්නවා. දැං මේ බොරුව නවත්තන්න කාලෙ හරි. ඒක නිසයි සිවුරු ඇරියේ. ඒ විතරක් නෙවෙයි දොස්තර මහත්තයො, අපාය තියෙන්නෙත් දිව්‍ය ලෝකෙ තියෙන්නෙත් අපි ඇතුළෙමයි. අපායයි දිව්‍ය ලෝකයයි කියන දෙකම අපි හදාගත්ත දේවල්. පණ පිටින් අපායෙ යන්නත් බෑ, පණ පිටින් දිව්‍ය ලෝකෙ යන්නත් බෑ..“

‘දැං ඔහේ අඩුගානෙ පන්සිල් පද පහවත් ආරක්ෂා කරන්නැද්ද ?’

‘නෑ මම සීල ව්‍රතවලින් සම්පූර්ණ මිදිලා තියෙන්නෙ. බුදු හාමුදුරුවො පන්සිල් පද පහක් ගැන දේශනා කළේ නෑ. ඕවා බුද්ධාගමේ කොටස්, බුදුදහමේ ඒවා නෑ. බුදුන් වහන්සේ කිව්වේ පුඤ්ඤ පාප පහීනස්ස, ඒ කියන්නෙ පිං කරන්නත් එපා පව් කරන්නත් එපා කියලා. ‘

බාර් මෑන්ට බුදුදහම ගැන, බුද්ධාගම ගැන එච්චරම අවබෝධයක් නෑ. ඒගැන එච්චර කියවලත් නෑ. නමුත් හාමුදුරුවරු කරන මගෝඩි වැඩ නිසා පංසල් යාම නම් බාර් මෑන් නවත්තලා ගොඩක් කල්. බුදු පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා ගාථාවක් කියලා අනේ මට පිහිටක් වෙන්න කියන්න තරම් බාර් මෑන් බොළඳ නෑ. රාජ්‍යය අනාගමික වෙන තරමට තමයි මිනිස්සු බුද්ධිමත් වෙන්නෙ. ඕස්ට්‍රේලියාව වගේ රාජ්‍යය තුළ ඕනෑම කෙනෙකුට, අවශ්‍ය ඕනෑම ආගමක්, ලබ්ධියක් ඇදහීමට නිදහස සහ අවස්ථාව තිබිය යුතුයි. ඒකට රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය වියයුතු නෑ. සාමින්ද පාතේගම කියන දේවල් තුළ වසර දෙදහසක් විතර යටපත් වෙලා තිබුණු පිරිසිදු බුදුදහම අන්තර්ගත වෙනවා කියලා බාර් මෑන්ට හිතෙනවා. 

‘ලංකාවෙ දැන් තියෙන්නෙ බුදුන් වදාළ ධර්මය නෙවෙයි, සඟුන් වදාළ ධර්මය. තම තමන්ගෙ ඕනෑ එපාකම්වලට බුදුන් වදාළ ධර්මය විකෘති කරලා තමයි ඒක හදලා තියෙන්නෙ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ඉහළින් තමයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු ඉන්නෙ. ජනාධිපතිලා, අගමැතිලා, කැබිනට් ඇමතිවරු පෝලිමේ යනවා ඒ අයව හම්බවෙන්න. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන දේශපාලනඥයෝ.’

බාර් මෑන්ගෙ කතාව සාමින්ද පාතේගම හිසසලා අනුමත කරද්දි දොස්තර විමුක්ති අධිකාරිත් කමල් අබේදීරත් නිහඬවතින් හිස නමාගෙන පබ් එකෙන් එලියට යනවා දකින්නට ලැබින…

නම් ගම් මනංකල්පිතයි……- බාර් මෑන් විසින් විරචිතයි