සංඝනායක පට්ටමට බුදුන් පාවාදුන් වත්තේගම ධම්මාවාස

රට දැය සමය රැක ගත්තෙත් වීවරයයි……
රට දැය සමය සුරකින්නෙත් වීවරයයි……..
එවන් සසුන සමහර හිමිවරු නසති………
කුලගොත්, ශාතී සංග්‍රහ නිල තල සොයමින්…….

කුඩාපොල වගේ විරු හාමුදුරුවරු……..
අදත් අප අතර හිද මේ සෙස කියති…….
රටකන උන්ව වනසා රට දැය රැකුම…….
තමයි අපේ අද දවසේ මහනකම……..

එදා මෙදා තුර ශ්‍රී ලංකාව මුහුණ දුන් ආක්‍රමණකාරී අවස්ථා හා අභ්‍යන්තර ගැටුම්කාරී අවස්ථා සමතයකට පත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඉටු කළ මෙහෙවර අතිමහත්ය. නමුත් මෑතකාලීන දේශපාලනය තුළ කහ සිවුර බහුතර ජනතාවකගේ සිත් තුළ ඇති කරනු ලැබුවේ බලවත් වූ වේදනාවකි. ඒ ඔස්සේ භික්ෂු සමාජය වෙත ගිහි සමාජයෙන් මේ දක්වාමත් එල්ල වෙමින් තිබෙන්නේ ධනාත්මක මතයන් නොවේ. මෙවැනි වාතාවරණයක් තුළ සංඝයා වහන්සේලා සහ ගිහි සමාජය දුරස් වීම කිසිදු ආකාරයකින් සමාජ ප්‍රගමනයට සුබදායක වන්නේද නැත.

දැනට මතුවෙමින් පවතින සටන්කාමී සිංහල බුද්ධාගම තුළ සංඝයා රඟ දක්වන්නේ අතිශයින් සකේතමය භූමිකාවකි. සම්භාව්‍ය බුද්ධාගමෙහි දකින්නට ලැබුණේ විමුක්ති මාර්ග ගවේෂණය උදෙසා කැපවෙමින් ගිහි සමාජය අතහැර දැමූ සංඝයා ය. නමුත් වර්තමාන සංඝ බහුතරය එසේ නොවේ. ඔවුහු සිංහල වර්ගවාදය මහෞෂධය කොටගත් සිංහල ජාතිකවාදී මතධාරීන් පිරිසක් සහ ඒ මතවාදය ව්‍යක්ත අයුරින් පතුරුවන පිරිසක් බවට පත්ව සිටිති. සංඝයා සැළකෙන්නේ ‘ජාතියේ මුර දේවතාවුන්’ හැටියට ය. ඉදින්, සිංහල ජාතිය අනතුරකට මුහුණදෙන අවස්ථාවලදී ජාතිය බේරාගැනීම සඳහා සංඝයා ඉදිරියට පැමිණෙන අන්දම ගැන නොයෙකුත් මිත්‍ථ්‍යා කතා ජනමාධ්‍ය ඔස්සේ දිනපතාම විසුරුවා හරිනු ලැබේ. ඇත්තෙන්ම, සංඝයාගේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව අතරේ තිබෙන පිළිගැනීමට වඩා ජනමාධ්‍ය යොදාගනිමින් දියත් කරන පම්පෝරිය හේතුවෙන් අනවශ්‍ය වැදගත්කමක් සංඝයාට ලැබී තිබෙන බව පැහැදිලි ය.

දේශපාලන වශයෙන් සංඝයා රඟපාන භූමිකාව මොනතරම් කාර්ය සාධක ද? ඔවුන් දේශනා කරන දේවල් ජනතාව අද පිළිගන්නවාද? විශේෂයෙන්ම සෑම ප්‍රවර්ගයකටම අයත් බලාධිකාර ව්‍යුහ පිරිහීමට පත්වෙමින් තිබෙන වකවානුවක සාම්ප්‍රදායික බලාධිකාර ව්‍යුහයේම මූලික අංගයක් වන සංඝ සමාජය ඒ හැටියෙන්ම ජනතාව අද පිළිගන්නවාද? වර්ථමාන සංඝ සමාජය දේශපාලනික වශයෙන් කල්ලි ගැසී ඇති ආකාරය කෙටියෙන් විමසා බැලූවිට අපට ප්‍රවනතා සහ කාන්ඩ කිහිපයක් හමුවේ.

රාජ්‍යය සමග අනන්‍යවන භික්‍ෂුන්වහන්සේලා ‘රාජ්‍යය මමයි, මම රාජ්‍යයයි’ යන ප‍්‍රංශයේ 14 වැනි ලූවී රජතුමා කළ ප‍්‍රකාශය සිහිගන්වන ලංකාවේ මෙම භික්‍ෂුන්වහන්සේ පිරිස සිතාගෙන සිටින්නේ, ශී‍්‍ර ලංකාව නමැති රාජ්‍යයේත්, එහි පරමාධිපත්‍යයේත් පරම සහ උත්තරීතර හිමිකරුවන් ඔවුන් යන බවයි. මෙය විශේෂයෙන් සියම් නිකායේත්, පසුව අමරපුර සහ රාමඤ්ඥ නිකායවලත් සමහර භික්‍ෂූන්වහන්සේලා අතර පවතින මතවාදයකි. මෙය වූකලි ලංකාවේ නූතන භික්‍ෂු සමාජය පූර්ව -යටත් විජිත වැඩවසම් සමාජය සමග මතවාදී ලෙස සම්බන්ධ කරන පුරුකද වෙයි. මෙම ධර්මය දේශනා කරන බොහෝ භික්‍ෂූන්වහන්සේලා නුවර යුගයේ සිට පැවතෙන වැඩවසම් ඉඩම් හිමියන් ද වන පන්සල්වලට සම්බන්ධව සිටීම, පහසුවෙන් ප‍්‍රතිික්‍ෂේප කළ නොහැකි සමාජ විද්‍යාත්මක සාධකයකි.

දෙවැනි ප්‍රවනතාව නියෝජනය කරන්නේ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධව එම පක්‍ෂවල න්‍යාය පත‍්‍ර ඉදිරියට දමන භික්‍ෂූන්වහන්සේලාය. ඔවුහු එජාපයේ සිට ජවිපෙ සහ හෙළ උරුමය දක්වා පක්‍ෂ සමග සම්බන්ධ වී සිටිති. උන්වහන්සේලාගේ දේශපාලන න්‍යාය පත‍්‍රය, සාකල්‍යයෙන්ම ගිහියන් විසින් තීරණය කරනු ලබන්නෙකි. අප පළමුවෙන් කී භික්‍ෂු ප‍්‍රවණතාව කරන්නට උත්සාහ ගන්නේ ඊට වෙනස් කාර්යයකි. එනම් ගිහි දේශපාලනඥයන්ගේ න්‍යාය පත‍්‍රය තීරණය කිරීමට උත්සාහ ගැනීමයි. එහෙත් මෙම දෙවැනි දේශපාලන භික්‍ෂු ස්තරය දේශපාලන පක්‍ෂවල මතවාදී කේඩරයන්ට සමානය.

තුන්වැනි ස්තරය, ‘ප‍්‍රගතිශීලී’ යන පදයෙන් හැඳින්විය හැකි, වාමාංශික සහ ලිබරල් දේශපාලන අදහස් දරන භික්‍ෂූන්වහන්සේලාය. ජාතිවාදය කේන්ද්‍ර කොටගත් අධිපති සංඝ මතවාදය ප‍්‍රතික්‍ෂේප කරන උන්වහන්සේලා සංඝ සමාජයේ ඇති නිකාය භේදයද ප‍්‍රතික්‍ෂේප කරති. වමේ ව්‍යාපාරයේත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයෙත් ඉගැන්වීම්, බුදුන්වහන්සේගේ ඉගැන්වීම් සමග සංයෝග කරමින්, සාමය, සාමානත්වය, මානව අයිතිවාසිකම් සහ මානුෂවාදය කේන්ද්‍රකොට ගත් ලෞකික බෞද්ධ මතවාදයක් වෙනුවෙන්ද පෙනීසිටිති. එවැනි භික්‍ෂූන්වහන්සේ සිටින්නේ අතළොස්සකි.

හරතරවැනි භික්‍ෂු ප‍්‍රජාව නම්, දේශපාලනය ගැන උනන්දුව දැක්වුවත්, නිහඬව සමාජය සමග ගනුදෙනු කරමින් සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවත්වන භික්‍ෂූන් වහන්සේලාය. අපේ සංඝ සමාජයේ සිටින බහුතරය මෙම ස්තරයට අයත්වෙති. මෙම භික්‍ෂූන්වහන්සේ බොහෝ දෙනා දුප්පත්ය. දේපළ රහිත නාගරික සහ ග‍්‍රාමීය ගිහියන්ගේ ආධාරයෙන් ජීවත්වන උන්වහන්සේලාගේ ලෞකික විජිගීෂාවන්ද අඩුය.

බ්‍රිස්බේන් ලංකාරාමාධීපති ගරු වත්තේගම ධම්මාවාස හිමියන් අවධානයට යොමුවන්නේ, ඔහු අයත් වන්නෙ ඉහත හඳුනාගත් පළමුවැනි භික්‍ෂු ස්තරයට නිසාවෙනි. සංඛ්‍යාවෙන් විශාල ප‍්‍රමාණයක් නොවුවද, දේශපාලනඥයන් සමගත්, ජනමාධ්‍ය සමගත්, ගිහි ධනවතුන් සමගත් ඇති කිට්ටු සම්බන්ධතා නිසා මෙම භික්‍ෂු ස්තරයට විශාල බලයක් තිබෙන බවද ප‍්‍රදර්ශනය වේ. ලංකාවේ දේශපාලන ගැටලූ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ සුළු ජන අයිතිවාසිකම් යන තේමාවලදී, විශාල ලෙස මතවාදීමය මැදිහත්වීම් කිරීම මෙම ස්වාමීන්වහන්සේලාගේ දේශපාලන භාවිතයේ ප‍්‍රධාන අංගයකි.

වර්තමාන දේශපාලන සන්ධිස්ථානයේදී මෙම භික්‍ෂුන්වහන්සේලා කරන මැදිහත්වීම විශේෂ දේශපාලන වැදගත්කමක් දරන්නකි. ලංකාවේ නව සහ අත්‍යන්ත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපෘතියක නියමුවන් හැටියට මෙම භික්‍ෂු පිරිස ඉදිරියට පැමිණීමේදි ඉන් සමහර දෙනා සිටින්නේ මහින්ද රාජපක්‍ෂ වටේය. තවත් සමහර ස්වාමීන්වහන්සේලා සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂ සමග අනන්‍ය වීය. එම පිරිස්ම ඥානසාර හිමි සමගද සම්බන්ධ වීම ජාතිවාදි දේශපාලනික සංකලනයට සාක්ෂි දරයි. 

දේශපාලනය උදෙසා පූජක සරණ ගිය නායකයන් අතර රාජපක්ෂ රෙජීමයට හිමි වන්නේ අංක එක බව කිව යුතුය. ඔවුන් භික්ෂූන් වහන්සේලා දිනා ගැනීමට මහජන මුදල් වියපැහැදම් කළ අන්දම සීමාවකින් තොර විය. එයට අමතරව සුදුසුකම් රහිත පූජකයනට ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල ප්‍රධාන සංඝනායක පදවි ආදී නොයේක් පුහු නම්බූ නාම ප්‍රදානය කොට තමනගේ දේශපාලන අතකොලු කරගන්නා ලදි. 

පසුගිය දස වසර තුළ දේශපාලන උපකරණයක් ලෙස ආගම භාවිතා කිරීම නිසාවෙන් බුද්ධාගම නියෝජනය කරනු ලබන ප්‍රධාන සාමාජ කණ්ඩායම්වල සංඝයාවහන්සේලාට අනවශ්‍ය දේශපාලන බලයක්ද, ධනයක්ද ලබා දී දේශපාලන අතකොළු ලෙස භාවිතා කිරීමෙන් සංඝ සමාජය කෙරෙහි තිබූ ගෞරවය සැලකිය යුතු ප්‍රමාණයකින් විනාශ කරන ලදී.

මෙසේ කිරීමට මූලිකම හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්‍ෂ සහ සමස්ථ රාජපක්ෂ පවුලම සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස ඉදිරියට ගෙනඒමයි. එමෙන්ම ජනාධිපතිවරණ රාජපක්‍ෂ නායකත්වයෙන් යුතු ‘බෞද්ධ ඒකාධිපති පාලන තන්ත‍්‍රයක්’ සඳහා වූ පරිවර්තනයකට ලංකාවේ දේශපාලනය තල්ලූ කිරීම සදහායි.

වත්තේගම ධම්මාවාස හිමිද මෙසේ තම ‘ඔස්ට්‍රෙලියාව් ප්‍රධාන සංඝනායක’ පදවිය හමුවේ අවිහිංසාවාදී බෞද්ධ දර්ශනය පවා පාවා දෙමින් උතුම් සංඝරත්නය සහ විහාරය පවා ජාතිවාදී හිංසනය වෙනුවෙන් දේශපාලනයට නතුකිරීමෙන්, තම දායක කාරකාදීන් පවා වරදට යොමුකෙරූ අවස්තා දකින්නට ලැබුනි. නම්බුනාම වෙනුවෙන් ජාතිවාදී ප්‍රොපගැන්ඩාව දියත්කිරීමට තරම් මෙවැනි හිමිවරු කෙතරම් නිවට වීද යත් ඔවුන්ගේ මේ ක්‍රියාකලාපය හේතුවෙන් අද මානව හිමිකම් අතින් ලොව පරාජිතම රාජ්‍යක් බවට ලංකාව පත්වී හමාරය.

එපමනක් නොව මෙසේ නම්බුනාම ලද වත්තේගම ධම්මාවාස වැනි වන්දිබට්ට පූජකයන් රටේ නීතියට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණයට ඉහළින් සිටින පාර-පුරවැසි පිරිසක් (Supra–citizens) බවට සිතාගෙන කටයුතු කිරීම හේතුවෙන් ‘භික්‍ෂූන් රටේ නීතිය කඩකළ විට ඔවුන් සම්බන්ධව කි‍්‍රයා කිරීමට රටේ නීතියට, පොලිසියට, අධිකරණයට සහ සිරගෙවල්වලට අයිතියක් නැත.’ යන මතය රාජ්‍යයේ පරමාධිපත්‍යය ද නොසලකන, එය අබිබවා ගිය උත්තරීතර පරමාධිපත්‍යයක් සංඝ සමාජයට හිමිව තිබේය යන වැඩවසම් කාලයේද නොතිබුණ මෙවැනි මූලධර්ම ක්‍රියාත්මක කිරීම ලංකාවේ මානව හිමිකම් දියාරුවට බලපා ඇති තවත් ප්‍රදානතම සාධකයකි.

මෙසේ වැඩවසම් මානසිකත්වයකින් මෙවැනි පූජකයෝ ඔස්ට්‍රෙලියාව තුලද සංඝයා රාජ්‍යයෙ පරමාධිපත්‍යයට ඉහළින් තිබිය යුතුයි යන ආගමික පරමාධිපත්‍යයකින් හිස උදුම්මාගෙන ක්‍රියා කරන්නේ නම්; මෙරට (ඕස්ට්‍රේලියාවේ ) දේශපාලනික වශයෙන් භයානක, නිර්ප‍්‍රජාතන්ත‍්‍රවාදී, බෞද්ධ පූජ්‍ය-තන්ත‍්‍ර පටු කූඨ දේශපාලන චින්තනයක් තුලින් පංසල කේන්ද්‍ර කොටගෙන හුදී ජනයාගෙ මොල සේදීම සහ ඕස්ට්‍රේලියාවේ ලාංකික ප්‍රජාව දේශපාලනීකරනය කිරීමේ රාජපක්ශ කොන්ත්‍රාත්තුව දියත් කිරීමක් බව සියලු දෙනාට මතක් කර දෙමු.

ගත වූ දශක කීපය තුළ සීඝ්‍රයෙන් දියත් වූ වාණිජ ක්‍රියාදාමය නිසා සාම්ප්‍රදායික සිංහල සමාජ‍ය තදබල වෙනස්කම්වලට භාජනය වී ඇත. කෙසේ වෙතත් සාම්ප්‍රදායික බලාධිකාර ධූරාවලියේ සාමාජිකයෙකු වන භික්‍ෂුවගේ සමාජ තත්ත්‍වය මේ වෙනස්කම් සමග පහළ වැටෙන්නට පටන් ගත්තේය. නමුත් ජනවාර්ගික ගැටුම නිසා මේ පහළ වැටීම ආපිට හැර වී තිබේ. ‘ජාතිය අනතුරේය, ජාතියේ මුර දේවතාවුන් එය රැකගැනීම සඳහා පෙරට ආ යුතුය,’ යනුවෙන් සිදුවන මතවාදී කතිකාව විසින් භික්‍ෂූත්වය නැවත වරක් බලපෑම් කළ හැකි තත්ත්‍වයකට පමුණුවා ඇත.